namal67@gmail.com

namal67@gmail.com
සටහන් පෙළගැස්ම‍ Prabath Rajasooriya

Tuesday, April 24, 2018

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස - 10 අංකය


හෙළ මියැසි අඹරේ හෙට පායන තරු වෙනුවෙන් ...............

ඔස්‌ටින් මුණසිංහ නිර්මාණ මියැසි රස ගුලාවේ දසවැනි දිගැහැරුම


මේ වාරයේ මනු ලොව කරා පිවිසි මේ ගාන්ධර්වයා හට සිය ඉරණම විසින් තමන්ට නියම කර ඇති වැඩ කොටස බොහෝ දුරට සමපුර්ණ කරනු ලැබු බවට හැගී යන්නට ඇත එහෙත් එයින්ම නියම කෙරී ඇති පරිද්දෙන්දෝ සිය රෝගී තත්වය විසින් සිරුරේ සවිබල ශක්‌තිය පැහැර ගෙන ගොස්‌ ඇති සෙයක්‌ ද හැගී ගියේය


මාලිගාවත්තේ සිය නිවස්‌නේ සිට තුන්රෝදරථයෙන් කොල්ලුපිටියේ මහනාමය වෙත පා නැගු ඔහු වෙත පිම්මේ දිව ආ සිසු දරුවන් සිය දයාබර ගුරුපියාණන් ගේ අත් වලින් අල්ලා වාරුකරගෙන පංති කාමරය වෙත කැඳවාගෙන ගියේය ඔහුගේ කය වෙහෙසවාලන්නට ඉඩ නොතබමින් අවශ්‍ය සියඵ සටහන් හා වාර්තා පොත් පංති කාමරය වෙත සපයා දෙන්නට විදුහල්පතිතුමා විසින් පියවර ගැණනි

ලාංකීය සංගීත - නාට්‍ය - සිනමා  කලා ක්‍ෂේත්‍රයේ නිරතවෙමින් සිය දස්‌කම් පෑ කලා ශීල්පීන් අති බහුතරයක්‌  දිවමන්ව සිටියදී අත්කර නොගත් ඔවුනට හිමි නොවු එහෙත් ලැබිය යුතුම වු දෙයක්‌ ලබන්නට තරම් ඔහු භාග්‍යවන්ත විය ඒ ඔහු ගේ සහෘදයන් කලණ මිතුරන් රැසක්‌ එක්‌ ව ඔහු කළ කි දෑ අගය කරමින් සංවිධානය කළ උපහාර උත්සවයක්‌ අසිරිය දකින්නටය  

සිනමාවේදී තිස්‌ස අබේසේකරයන් මුල් ව හපුආරච්චි වෛද්‍යසේකර කරුණාදාස ලොකුබාලසූරිය යන සහෘද රසවතුන් එහි පෙරමුණ ගත්හ 
එකී චාම් උළෙල වර්ණවත් කරමින් එදා මෙදා තුර ඔස්‌ටින් නිර්මාණ තෝරාගත් සංඛ්‍යාවක්‌ රසවත් කළෝ අතර විශාරද නන්දා මාලනී ඉන්දීවරී ආරියසිංහ සේනානායක වෙහෙරලියද්ද සහ අනුලා බුලත්සිංහල ද විය

පද්ම ශ්‍රී පන්ඩිත් අමරදේවයන් ප්‍රමුඛ ව මහඇදුරු කාලෝ ෆොන්සේකා  ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුනිල් සරත් පෙරේරා ලුෂන් බුලත්සිංහල ඇතුඵ පිරිසක්‌ ඔහු නිර්මාණ පසසා අගයා දෙසුම් පැවැත්වුහ

මෙකල්හි සිංහල ගී අඹරට පෑවු අධුනික යොවුන් නව ගී තාරකාවිය වු නිරෝෂා විරාජිනී මුණසිංහයන් වෙතින් සත්සර ශිල්ප ලබමින් සිටියාය දිනෙක ඇයගෙන් මුණසිංහයන් වෙත ආයාචනයකි එනම් තමා වෙනුවෙන් ගීතයක්‌ නිමවා දෙන්නටය ඒ අනුව රත්න ශ්‍රී විජේසිංහයන් ඉන්දීවරී ආරියසිංහ ශිල්පීනිය  වෙත ලබාදී තිබු එතාක්‌ භාවිතයට නොගත් පදමාලාවක්‌ ඔහු ගේ මැදිහත්වීමෙන් ඇය ට හිමිකරදී ඊට මුසුකල නාද සිත්තමයි මේ

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කඵව බිඳ .......

රන්කෙඳී සේම රන්වන් ඉරිගූ ඉඹිනවද......

තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ......

රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව ........

-----------------------------
මෙතැනින් සවන්දෙන්න



1997 වසර ට පියමං කල ලක්‌බොදු සිහල දන වෙනුවෙන් සිය ජාතික වගකීම ඉටුකරන්නට සැදී පැහැදී සිටින සැළලිහිණි තෙලදසුන් සේවය සිංහල අඵත් උළෙල සමරන්නට සුදානම් විය එහි බලධාරීන් විසින් ඒ වෙනුවෙන් පෙළගස්‌වා තිබු වැඩසටහන් අතර මියුරු සර වසන්තය ද විය එයින් පසළොස්‌ වසකට පෙරාතුව  එහි ආරම්භයේ රූපවාහිනි අධ්‍යාපන සේවය සරු කල ඔස්‌ටින් මුණසිංහයන් හට මෙවරද එහි නාද ගෙත්තම වෙත පවරනු ලැබීය 


රත්න ශ්‍රී විජේසිංහයන් ගේ වදන් ගෙත්තම් කල මියුරු සර වසන්තයේ ආකෘතිය 19 සියවසේ පරසිඳු ගජමන් පුවතේ චරිත ඇසුරෙන් නිර්මාණය කරන ලද්දේ උපාලි ආරියසිරිය 

බෙරහඞ නාට්‍යයේදී මුණසිංහයන් ගේ නිර්මාණ සැරසු ශිල්පී ජැක්‌සන් ඇන්තනි කුමාරි මුණසිංහ යුවළට අමතරව රොඩ්නි වර්ණකුල සහ සේනානායක වෙහෙරලියද්ද  මෙන්ම ජ්‍යෙෂ්ඨ ජනගී පර්යේෂක නාට්‍යශිල්පී රෝහන බැද්දගේ ද ප්‍රදිපා ධර්මදාස ද එහි සෙසු සාමාජිකයන් වුහ

එහි රොඩ්නි වර්ණකුල ගේ ගී හඞ අවදිවුයේ මෙලෙසිනි

මල්මද බිසෝ ඉතිං......
ඩිංගක්‌ හිනාවෙයන්......

අරගෙන රිදී කලේ .....

රිදී වතුර ගෙදර යමං .........

-----------------------------
මෙතැනින් සවන්දෙන්න



ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං


නැවතත් එතැන් සිට මතු දිනක ................

පරිශීලනය සහ මුලාශ්‍ර - සොඳුරු ගාන්ධර්වයා

ස්තුතියි - අචිරවතී යාලගම මුණසිංහ මහත්මිය වෙත

Tuesday, April 3, 2018

ප්‍රවිණ සංගීතඥ පියදාස අතුකෝරාළ වැයුම් - නිමැයුම් ...........


එදා වැයු ඒ වෙණ නද ඇසේවා අදත් හෙටත් '''''''''''''''

ලාංකිකයන් ගේ ගීත රසාස්‌වාදය මුලීක වශයෙන් රැඳී පවතින්නේ ද වැඩි දෙනෙකු වැඩි අවධානය යොමු කරන්නේ ද මේකී කලා නිර්මාණයට පාදක වු එහි පද සංකල්පනාව මත බව පෙනීයයි 


සාමජ මාධ්‍ය ජාලයන්හි සංසරණය වන ගීත උදෙසා පළකෙරන සටහන් ඔස්‌සේ ද ඒ බව පසක්‌ වෙයි

එනමුදු සාමූහික නිර්මාණකරණය උදෙසා ගෙනහැර පෑ හැකි වඩාත්ම සාර්ථක නිදසුනක්‌ ලෙස ද ගීත කලාව හැඳින්විය හැකියි මතුපිටින් සලකා බලද්දී එහි පද රචනය සහ ගායනය කැපී පෙනෙන බවක්‌ හැගී ගියද ඊට දායකත්වය සපයන්නෝ බොහෝ වෙති

එහිදී සුපිපි පුෂ්පයෝ සොයා සරණ බිගු කැල සේම රසිකයන් ගීතයකට ආකර්ශනය කරගන්නේ එයින් විහිදුවන සුගන්ධය බඳුවන් තනුවයි ගීතයේ එකී අංගය හා මනාව ඒකාත්මික වන පදමලාව ට එහි වාහකයා සිය ගැයුම් මිහිර මුසුකරන්නේ යම් සේ ද ඒ පමණට නිර්මාණය ශ්‍රාවක හද පැහැර ගනු ලබයි 

ඒ අනුව එහි ජනප්‍රියත්වය උදෙසා තනු රචකයා ගේ කාර්ය භාරය ද භාරදූරය ඔහු මේ නිර්මාණයට දායක වන තෙවැන්නා ලෙස සැලකිය හැකිය 

එපමණකින් ගීයක උපත සිදුකරන්නට දායක වන්නන්ගේ ලැයිස්‌තුව අවසන් නොවිය හැකිය ඉඳහිට ඊට හතරවැන්නෙකු ගේ සහභාගීත්වය ලැබි ඇති අවස්‌ථාද දැකිය නොහැකි නොවේ ගීතයේ සොඳුරු මිහිරි බව කන්කඵ බව ඔප් නංවන ඊට යෙදෙන සැරසිලි මෝස්‌තර රටා බඳු ආරම්භක සහ අන්තර් මෙන්ම පසුබිම්  සංගීත වාද්‍ය රටා මවන  ඔහු සංගීත අධ්‍යක්‍ෂවරයා මෙන්ම සංයෝජකයා ය  එනමුත් ගී නිර්මාණ වැඩි සංඛ්‍යාවක මේ ශිල්පියා ද තනු රචකයා ද එක්‌ අයෙකි

එසේ නෙවුනු අවස්‌ථාවන් සඳහා නිදසුන් ලෙස

ආචාර්ය ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ ගේ සිනමා නිර්මාණ වු  රේඛාවේ සහ සංදේශයේ ගී නිර්මාණ ගෙනහැර දැක්‌විය හැකිය

මුලින් කී සිනමා පටය වෙනුවෙන් තනු නිර්මාණයෙන් සහය වු සුනිල් සාන්තයන් ට සංගීත අධ්‍යක්‍ෂනයෙන් බී ඇස්‌ පෙරේරා ද දෙවනුව සඳහන් කල කෘතියේ සුනිල් සාන්තයන්ගේ තනු ඔපවත් කලේ රාමයියා මුත්තුසාමි බවද කියෑවෙයි ඒ අනුව ඒ ගීත නිර්මාණ සියල්ලේ ජනප්‍රසාදය යන උඩුවියන සතර දෙනෙකු විසින් උසුලාගෙන සිටිති

70 දශකයේ වානිජ සිනමාවේ ජයකෙහෙළි නැංවු උතුරේ තල් රූප්පාවේ වැසියෙකු ව සිටි ජෝ දේව් ආනන්ද සිය සිනමා කෘති සරසවා ගත්තේ කන්ද උඩරට වැසියෙකු වු ද ක්‍ෂේත්‍රයේ සක්‍රිය දායකත්වයක්‌ නොදැරුවා වුද  එම් එම් ඒ හක්‌ නම් ගීත ලෝලියා මිමිණු තනු වලිනි  එහෙත් ඒවායේ සංගීත සංයෝජකයා ලංකීය ගීත කලාවේ ප්‍රමුඛයෙකු වු ටී එෆ් ලතීෆ් සත්සර රසවතාය

මේ පුර්විකාවේ සමාප්තිය සටහන් කරනු පිණිස ගීතයක්‌ බිහිකිරීමේ ක්‍රියාදාමයේ කැපී පෙනෙන භුමිකාවක යෙදෙන එහෙත් එතරම් අවධානයට යොමු නොවු සෙසු පිරිස පිළිබඳව සඳහන් කරනු වටනේය ඔවුන්ගෙන් ඇතැම්හු සංගීත කලාව ශ්‍රාස්‌ත්‍රානුකුලව හැදැරූවන්ය සෙස්‌සෝ සිය සසර පුරුද්දෙන් උරුම කරගත් සහජ හැකියාවෙන් ඒ කටයුත්තේ යෙදෙන්නෝය මේ පිරිස නම් ගීතය සිය වාදන කෞෂල්‍යයෙන් රසගන්වාලන වාදක මන්ඩලයයි 

සංගීත සංයෝජකයාගේ සහ තනු රචකයා ගේ භූමිකාවේ ද යෙදෙන එකී ශිල්පයේ පරප්‍රාප්ත වූවන් එකට එක්‌තැන් වු කෙම්බිම ජාතික ගුවන් විදුලියේ වාද්‍ය වෘන්දයයි ඔවුහු යම්තමින් හෝ අභිබවනය කරන්නට සමත් වූවන් සිටීයේ නම් ඒ ත්‍රිවිධ හමුදා තූර්ය වාදක සමුහයේ සාමාජිකයන් පමණකි  

එදවස සුභාවිත ගී නිර්මාණ රසගන්වන්නට මෙකී සාමාජිකයන් දෙවර්ගයම අත්වැල් බැඳගත්තේ ගුවන් විදුලියේ දී හෝ සිනමා චිත්‍රාගාරයක දී නැතහොත් ශබ්ධාගාරයකදීය

මෙකී සටහනට හේතුපාඨ වන ඔහු වරෙක සිය අතැගිලි විහිදුවේ ජලතරංග රසය නංවනු පිනිසය තවත් වරෙක ඒවා සිතාරයේ තත් අතර යුහුසුඵව දිවයනු පෙනිනි

කොන්ද නමාගෙන  - හැරමිටි ගහගෙන''''''''''''''''''

ඉබි ගමනින් යන්නේ - උදේම නාගෙන චීත්තේ ඇඳගෙන''''''''''''

ආච්චි මේ එන්නේ''''''''''''''''''''''''''''

ගි පද සහ සංගීතය - මෙල්රෝයි ධර්මරත්න
1970

අසන්න මෙතැනින්
----------------


මේ නිර්මාණයට හඞ මුසුකල ශීරෝමි ප්‍රනාන්දු ගේ කෙළිලොල් සිගිති හඞ ඇසෙන්නට පෙරාතුව වැයෙන ලුහුඞු ආරම්භක ජලතරංග නාදරටාව ඔහුගේය

හඳහාමි - හඳහාමි  - සුදු හඳහාමී''''''''''''''''''''''''''''

කිරි - පැණි ගෙනත් දෙන්න - සුදු හඳ හාමි''''''''''''''''''''''''''''

ගි පද සහ සංගීතය - මෙල්රෝයි ධර්මරත්න
අසන්න මෙතැනින්
----------------


යළිත් වරකදී ඇය මෙසේ ගයද්දී නිරන්තරයෙන් පසුබිමින් දෝංකාර නැංවෙන සිතාර් නාදරටාව ද ඔහුගේය

මේ ඔහුගේ අපිරිමිත නිර්මාණ රසකලසින් අංශු මාත්‍රයකි එහි රස පහසක තතු වැඩිදුර විමසන්නට පෙරාතුව ඔහු දිවිසැරියේ ජවනිකා පෙළක්‌ මෙසේ ලියා තබමි 

ඔහු සිය දිවිගමනේ සැඳෑ සුවය විඳින ප්‍රවිණ ජ්‍යෙෂ්ඨ සංගීතඥ පියදාස අතුකෝරාළයන්ය 

පසුව හෙළ කලා කෙත සරු කල මහරු සම්පත් බඳු ගී කලා තරු බිහිවු පසුගිය සියවසේ සතරවන දශකයේදී ඔහු මෙළොව පා තැබු ඒ දාතම 1931 උඳුවප් මසින් 29 දින ලෙසින් ය සටහන් වන්නේ ඒ බටහිර පළාතේ අගනුවරට ආසන්න හොරණදීය  හෙළ සාහිත ඉතිහාසයේ නොමැකෙන මංසළකුණක්‌ වු ගොඵ හදවත නවකථාවේ වස්‌තු බීජයට පාදක වූ තක්‍ෂිලා විදුහලේදී පළමු කොට අකුරු කළ හෙතම එයින් නික්‌ම ගොස්‌ එදා පැවති වෘත්තිය පුහුණුව හා සබැඳී විෂයන් හි පුහුණුව ලබාදුන් ශ්‍රීපාලි සිප්හල් මාතාවගේ සෙවණ ලද්දේය

හෙළකලා සිරිදෙව්දුවගේ කොකුම් තිලකය බඳුවන් ඒ සිප්හලේ නියමුවා ලෙස එදවස කටයුතු කලේ ද ක්‍ෂේත්‍රයේ මහා දැවැන්තයෙකු වු ඩබ්ලිව් ඩී මකුලොලුව ශ්‍රිමතානන්ය එහි මව් සිප්හළ බඳුවද සැළකිය හැකි භාරත දේශයේ  ඨාකුරයන්ගේ ශාන්ති නිකේතනයෙන් ශිල්ප ලබා පෙරළා සියරට පැමිණි සිය  දෙටු සොයුරු අනංගලාල් අතුකෝරාළයන් ගෙන් තත් වාද්‍ය භාන්ඩ වාදන රටා මුලිකාංග ප්‍රගුණ කරන්නට සමත් වු පියදාසයන් ඒ ශිල්පකලාව ශ්‍රාස්‌ත්‍රානුකුලව ලබනු පිනිස මකුලොලුව ආචාර්යතුමානන් වෙත එළඹියේය

ඒ අනුව එස්‌රාජය ද දිල්රුබා වද පසුව සිතාරය ද ඔහුගේ අතැගිලි පහස විඳගත්තේය ඉන් ඉක්‌බිතිව ඔහුගේ සියුම් නාදරටා පහර ලද්දේ සම්ප්‍රදායික සරල තුර්ය භාන්ඩයක්‌ වු ජලතරංගයයි  හෙළ ගී මුල් නිමැයුම් බොහෙමයක වරෙක නැගෙන්නේ පියදාසයන්ගේ මේ ජලතරංගය නාදයයි තවත් වරෙක සිතාරයයි

ලක්‌මව නිදහස්‌ සුවයෙන් සැනහී ගිය මංගල මොහොතේ ඒ ස්‌මාරකය තැනුනු නිදහස්‌ චතුරශ්‍රයේ පැවැත්වු   පැජන්ට්‌ ඔෆ් ලංකා ඉගිනඵවේ රැව්දුන්නේ එකී ජලතරංග නාදයයි 

දිනක කලාරසවතුන්ගේ කෙම්බිම වු මොරටු පුරවරයේ වේදිකා ගතවු ශ්‍රාස්‌ත්‍රීය වැයුමකදී සංගීත් නිපුන් මහඇදුරු පි වී නන්දසිරි යුහුසුඵව තබ්ලාව මත සිය ඇතැගිලි මෙහෙයවද්දී ඔහු සිතාරයේ මිහිරෙන් ප්‍රේක්‍ෂකාගාරය කුල්මත් කරන ලදී

ලෝ පුජිත මහා සංගීතවේදී පන්ඩිත් රවි ශංකර් ගේ ලංකාගමනය සිදුවු වකවානුවේදී කෙටි සළරූ යුග්මයකට නාද මිහිර සපයන්නට එතුමෝ ලක්‌ රජය වෙතින් ඇරයුම් ලැබිය  ඒ වෙනුවෙන් සිය සිතාර් වාද්‍ය වෘන්දය නියෝජනය කරනු පිනිස පියදාස අතුකෝරාළයන් තොරාගනු ලැබිය එය අප ශිල්පියාගේ කලා දිවියේ අමරණිය සිහිවටනයක්‌ වනු නිසැකය

එපමණකුදු නොවේ 1954 වසර ගතවෙද්දී  අගනුවර ලයනල් වෙන්ටඩ් හිදී  ඔහු ගේ සිතාර් සහ ජල තරංග වැයුමක අසිරියෙන් මත්වී වේදිකාවට ගොඩ නැගුනු දැවැන්තයන් දොපොළකි ඒ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් හා සංගීත විශාරද පී ඩංස්‌ටන් ද සිල්වාය ඔවුහු කවරහුද යන්න අමුතුවෙන් හඳුන්වාදිම නිශ්ඵලය දෙදෙනා එක්‌ව නොබෝ දිනකින් හෙළ ගී රසිකයන් වෙත තිලිණ කරනු පිනිස සුසැදී නවතම සත්සර අත්දෑකීම  ජලතරංගයේ මිහිරෙන් නහවන්නැයි පියදාසයන් වෙත හෘදයාංගම ඇරයුමකි

ඒ අනුව ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ මුල්වරට එහි මැදිරියක්‌ තුලදී ජලතරංගය හඞවන්නට ද ඔහු භාග්‍යවන්ත විය ඒ උක්‌ත කලාරසවතුන් ගේ දායකත්වය ලැබු සෝණ ගං තීරය ගීත නාටකය වෙනුවෙනි

එයින් නොනැවතී නිම්නාද වු ඒ වාද්‍ය මිහිර මුසුවු දෙවැනි ගීත නාටකට උල්පත නමිනි 


ප්‍රේම තටාකේ මේකයි මැණීකේ ''''''''''''''''''''''''''''

ආදර /ල්ලයි අර දිව එන්නේ'''''''''''''''''''''''''''
අභිමන් අභිමන් කියලයි මැණිකේ
'''''''''''''''''''''''''''

දිය/ලි ‍ මේ වැව් ඉවුරේ වදින්නේ
'''''''''''''''''''''''''''


ගායනය - පන්ඩිත් අමරදේව  සමග වජිරා බාලසූරිය
රචනය -ශ්රී චන්ද්රරත්න මාණවසිංහ
සංගීතය - පී ඩංස්ටන් ද සිල්වා
1955

අසන්න මෙතැනින්
----------------



භාරත සත්සර සිප් පෙළහර පෑ පන්ඩිත් අමරදේවයන් සහ වජිරා බාලසූරිය නම් යෞවනිය ඊට හඞ සැපයූහ

එතැන් සිට ජාතික ගුවන් විදුලියේ නිර්මාණයන් එකිනෙක පසා අතුකෝරාළ ජල තරංග වැයුම් නිම්නාද වන්නට පටන් ගත්තේය ගීතයක මුල් තැටිගතකිරීම වැයෙන්නේ යම්විකටද දීද  එහි සංගීත රටාවන් හා මුසුව නැගී එන්නෙ ඔහු ගේ සොඳුරු වැයුම් පෙළහරයි


උම්බෑ කිය කියා - මරණ බයේ ''''''''''''''''''''''''''''

කිරි ටික මුලදී බොයි - පස්‌සේ මරාකයි ''''''''''''''''''''''''''''

මිනිසා දරුණු ඇයි - මේ එළදෙන අසයි '''''''''''''''''''''''''''

ගායනය - ජේ ඒ මිල්ටන් පෙරේරා
රචනය - කරැණාරත්න අබේසේකර
සත්සර අදියුරු පි එල් ඒ සෝමපාල

(හතර මහ නිධානය සිනමා පටයෙනි)
1965


අසන්න මෙතැනින්
----------------



එල් ඇම් පෙරේරා රංගනශිල්පියා හැදූ හතර මහ නිධානය සළරු ව උදෙසා මෙසේ ගයන්නේ ජේ ඒ මිල්ටන් පෙරේරා ශීල්පියා ය


හද සසලකරවන මෙකී ශෝකී ගී රාව දියුණු තියුණු කරන්නේ අතුරු වාදනයේ තත්පර විස්‌සකට ආසන්න කාලාන්තරයක වැයෙන සංවේදී තාර් ෂෙනායි (Tar Shenai)  වාදනයයි (ගීතයේ අන්තර්වාදනය පසු කොටස අන්තරා ගැයුමට පෙරාතුව)  ඊට ජීව ගුණය දෙන්නාවු වායුධාරාව නැගෙන්නේ ද අතුකෝරාළ මුවිනි

මෙම තාර් ෂෙනායි අඵවෙන් වැයෙන තත්  වාද්‍ය භාන්ඩයකි  ඊට සමාන නාදයක් නිකුත්වන ෂෙනායි නම් ශුෂිර වාද්‍ය භාන්ඩයට සමාන හඩක් එයින් නැගෙන අතර වෙනස සියුම්ව හැදිනගත යුතු වේ



යළි හමුවෙමු සෙසු තතු දැනගනු පිණිස 
'''''''''''''''''''''''''''


ස්‌තුති පුර්වක ප්‍රණාමය -

මුලාශ්‍ර සහ කරුණු උපුටනය වෙනුවෙන් විශේෂ අවසරය දුන් විජිත් කුමාර් සේනාරත්න මහතා වෙත
ජයාරූපය උපුටනය - විජිත් කුමාර් සේනාරත්න කෘතියෙනි

සංගීතඥ මෙල්රෝයි ධර්මරත්න මහතා